මානසික පීඩාව ජය ගනිමු


සෑම පැය දෙකකට එක්‌ අයෙක්‌ සියදිවි නසාගන්නවා

වැඩිම පිරිස දරුවන් හා යෞවනයින් - වසරකට 4000 ක්‌ - දිනකට 11ක්‌

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

ශ්‍රී ලංකාවේ දිවි නසාගැනීමේ දත්ත අනුව වැඩිම සංඛ්‍යාවක්‌ දිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු පහළවත් විසිපහත් අතර දරුවන් හා නව යෞවනයේ පසුවන්නන් යයි ගාල්ල උනවටුන රෝහලේ මනෝවෛද්‍යය විශේෂඥ කමනි රත්නවීර මහත්මිය පැවසුවාය.

ඇය මේ අදහස්‌ පළකළේ පසුගියදා ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පැවැති රැස්‌වීමකදී අදහස්‌ දක්‌වමිනි.

ගාල්ල අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය කමනි රත්නවීර මහත්මිය මෙසේද කීවාය.

ළමයින් වගේම යොවුන් දරුවන් ගැනත් අපි කතා කළ යුතුයි. නව යෞවනයේ තියෙන නොයෙක්‌ හැසිරීම් රටාවන් ඒ ගොල්ලන්ගේ ශරීරය වැඩීමත් සමග හෝමෝන ක්‍රියාවලින් සමග දරුවන් ආවේගශීලී වෙනවා.

වසරකට දැනට හරදාහක්‌ පමණ සිය දිවි නසා ගැනීම් වාර්තා වෙනවා. ඒ කියන්නේ දිනකට එකොළොස්‌ දෙනෙක්‌ අපි ගතකරන හැම පැය දෙකකටම එක්‌ කෙනෙක්‌ මිය යනවා සිය දිවි නසාගැනීම්වලින්.

වෛද්‍ය විශේෂඥ කුමාර රත්නවීර - මෙසේ දිවිනසාගන්නා අයගෙන් වැඩිම දෙනෙක්‌ අවුරුදු පහළොවත් විසිපහත් අතර අයයි. දරුවන්ට ඇති වන ප්‍රශ්න හා ගැටලු හමුවේ මේ තීරණය ගන්නවා. ගොඩක්‌ අය දිවි නසා ගන්නේ ක්‍ෂණික තීරණ මතයි. මානසික රෝගීන්ම වෙන්නෙ ඕන නෑ. බොහෝවිට දිවි නසාගැනීම්වලට හේතු වෙන්නේ විශාදය හා මත්පැන් පානයයි.

දරුවන් යහමගට ගේන්න ගුරුවරුන් විශාල මෙහෙවරක්‌ කරනවා. පන්තියක ළමුන් හතලිහක්‌ හසුරුවන එක අමාරු කාර්යයක්‌. දරුවන්ට අධ්‍යාපනය දීම රටක්‌ පාලනය කරනවටත් වැඩිය අමාරු කාර්යයක්‌. මේ නවීන තාක්‌ෂණයත් සමග දියුණු වෙන ලෝකයේ දරුවන් හරි පැත්තට ගන්න අමාරුයි. මේ නවින තාක්‌ෂණය දැනට තියෙන උපකරණ නිසා දරුවන් යහමගට එන්නෙ නෑ. අපි දරුවන් පිළිබඳව ගොඩක්‌ විමසිලිමත් වෙන්න උවමනායි.
divainaNews/2014/10/29/provin06.html

=============================
 

මානසික පීඩාව ජය ගනිමු


බටහිර මනෝ විද්‍යාඥයන්ගේ සහ මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යොමු වූ ආතතිය හෙවත් මානසික පීඩාව පිළිබඳ ව බුදු දහමේ දැක්වෙන කරුණු විස්තර කැරෙන ලිපි පෙළක ආරම්භය යි මේ.
මානසික පීඩනය හෙවත් ආතතිය (Stress) ගැන මෑත කාලයේ දී මුලින් ම සඳහන් කළේ හෑන්ස් සෙලී (Hans Selye) නමැති කැනේඩියානු ජාතික ජීව විද්‍යාඥයා යි. ඔහු Stress යන්න අර්ථ දැක්වූයේ “Non specific response to any demand”  යනුවෙනි. මෙය “කුමන විදියක අවශ්‍යතාවක් පැනනැගුණත් (සාමාන්‍ය එදිනෙදා සිදුවීම්වලට මුහුණ දීමේ දී හෝ මොන යම් අභියෝගයකට මුහුණ දීමට සිදු වීමේ දී හෝ) ඒ සියල්ලට ම එක සමාන වූ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම” යනුවෙන් පැහැදිලි කළ හැකි ය.
මෙය බුද්ධ ධර්මයට අනුකූල ව විස්තර කරන්නේ නම් “අෂ්ට ලෝක ධර්මය හමුවේ නිරන්තරයෙන් සැලෙන කම්පා වන සිතකින් යුක්ත වීම” යනුවෙන් කිව හැකි ය.
Stress යන්න මනුෂ්‍යයාට අන්තර් පුද්ගල සහ පාරිසරික බලපෑම් මත, ඒ බාහිර බලපෑම්වලට මනුෂ්‍යයා ප්‍රතිචාර දක්වන ක්‍රමය අනුව ඇති වන්නකි. සාමාන්‍යයෙන් ආතතිය පවතින විට අප හිතන්නේ මේ ක්‍රියාදාමයන් අපට කරදරයක් හිරිහැරයක් ලෙසට යි. එම හිතකර නොවන පරිසරයේ ජීවත් වීමට සිදු වීම නිසා, අප තුළ හටගත් ආතතියට එම බාහිර පරිසරය වගකිව යුතු යැ යි දොස් පවරමින් සිතන්නට අපි පුරුදු වී සිටිමු.
එහෙත් මෙය පිටතින් සිදු වන්නක් නො ව, පුද්ගල ප්‍රතිචාරවලට, බාහිර පරිසර සාධකවලට, ස්වාභාවික ධර්මතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න මත අප සිත තුළ හටගන්නා කැලඹිල්ලකි. තවත් විදියකින් පවසනවා නම් Stress යනු බාහිර සාධකවලට අප දක්වන ප්‍රතිචාර මත, සිත තුළ ඇති වන ප්‍රතික්‍රියාව නිසා, තම සිත තුළ ම හටගන්නා අධික පීඩාව යි. මෙය මෙහි දී අප බාහිර දේවල් අරමුණු කර ඒ දිහා බලන කෝණය, මවන අදහස් උදහස්, කරන කල්පනා යන්න මත, තනිකර ම අප සිත තුළ අප ම ඇති කරගන්නා තත්ත්වයකි. එම නිසා Stress ඇති කරගැනීම, ඇති වී ඇති Stress නැති කරගැනී ම හෝ Stresss නොවී වැඩ රාජකාරිවල යෙදී නිවුණු සැනසුණු දිවි පෙවෙතක් ගත කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ම තමා සතු බව පෙනී යයි.
අප හඳුනාගත් පරිදි, Stress යනු තම සිතේ ම ඇති වන ඇවිස්සීම යි. මේ සිතේ ඇවිස්සීම බුදු රජාණන් වහන්සේ ‘දුක’ යනුවෙන් පෙන්වා දුන් සේක. මේ දුක Stress යමකු තුළ විවිධ මට්ටම්වලින් විද්‍යමාන විය හැකි ය. මේ Stress එහෙමත් නැත් නම් දුක ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගෙන හට ගැනීමට හැකියාවක් ඇත. එනම් පිටත දේ මුල් කරගෙන සිත ඇතුළේ හටගන්නා ඝට්ටනය හා සිත ඇතුළත දේ මුල් කරගෙන සිතේ හට ගන්නා ඝට්ටනය යනුවෙනි.
පිටත දේ මුල් කරගෙන හට ගන්නා ඝට්ටනයට පාදක වන කරුණු කීපයක් නම්, බාහිර පරිසර සාධක නිසා (“යම් පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” - කැමති දේ නොලැබීම, කාලගුණයේ ඇති වන වෙනස් වීම් නිසා... යනාදි වශයෙන්), අන් අය නිසා (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ” - පි‍්‍රයයන්ගෙන් වෙන් වීම සහ අපි‍්‍රයයන් සමඟ එක් වීම... යනාදි කරුණු නිසා), ස්වාභාවික ධර්මතා (අනිත්‍යතාව, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය යනාදි කරුණු නිසා) ය.
සිත ඇතුළේ හට ගන්නා ඝට්ටනය තමන්ගේ විචාර බුද්ධිය හා චිත්තවේග මුල් වී හටගනී. චිත්තවේග බුද්ධියට හරස් වීමෙන් මේ ඝට්ටනය හටගනී. හරි - වැරදි, හොඳ-නරක බුද්ධියට ගෝචර වේ. නමුත් හිතේ චිත්තාවේග හටගත් විට දී ඒ හටගත් ආශාව, රාගය, තරහව, භය ආදියට කෙසේ හෝ යටත් වීමට චිත්තාවේගය කෙනෙකු පොලඹවයි. මෙවිට බුද්ධියට තේරුණ හොඳ-නරක, හරි-වැරදි දෑ පසෙක දමා, තමන්ගේ ආවේගයට නතු ව තම සිතැඟි පරිදි එය ඉටු කිරීමට උත්සාහ ගන්නා විට දී තම හිත තුළ ඝට්ටනයක් උපදී.
මේ දෙවිදියට ම කෙනකු තුළ නිරන්තරයෙන් දුක / Stress විවිධ මට්ටම්වලින් හටගනී.
අප සිත තුළ නිරන්තරයෙන් සිදු වන ඝට්ටනවලින් හටගන්නා අසීමිත ප්‍රතික්‍රියා නිසා මනසට මෙන් ම ශරීරයට ද අවිවේකි තත්ත්වයක් උදා වේ. මෙලෙස සිතේ ඇවිස්සීම නිසා ඇති වුණු කායික හා මානසික අසහනය/ දුක / Stress වැඩිදුරට වර්ධනය වන පිළිවෙළ බුදුන් වහන්සේ “සෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස” යනුවෙන් දක්වති. Stress කියන මානසික පීඩනය ගැන පරීක්ෂණ පවත්වා ඒ ගැන අද කාලයේ විද්වතුන් දරන මත අපට මේ ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගැනීමට වැදගත් වන නිසාත්, ඒ අතරින් හෑන්ස් සෙලී නමැති පෙර ද කී විද්‍යාඥයා තවදුරටත් Stress ගැන පරීක්ෂණ පවත්වා මෙවැනි පීඩනයකට පත් ව ඇති මනස ක්‍රියා කරන අයුරු ගැන සොයාගත් දේ විස්තර කරගැනීමෙන් බුදු රජාණන් වහන්සේ අවුරුදු 2500කට පෙර දෙසූ ඒ උත්තරීතර දහම තේරුම් ගැනීමට යම් උපකාරයක් වන නිසාත් මෙහි සටහන් කිරීම වටී ය යි හැඟුණි.
හෑන්ස් සෙලී “General Adaptation Syndrome”යන්න යොදාගනිමින්, මේ Stress යන මානසික පීඩනය නිසා සිත තුළ ඇති වන ප්‍රතික්‍රියා වර්ධනය වන අයුරු ප්‍රධාන අවධි තුනකින් විස්තර කරයි. පළමුවැන්න Alarm Reaction නමින් හැඳින්වෙන, මුහුණපාන සිදුවීම්වලට මුලින් ම අප තුළ ඇති වන ප්‍රතික්‍රියාව යි. උදාහරණ: තම පවුලේ සමීපතමයකු මිය ගිය අවස්ථාවක දී අප කරන්නා වූ සෝක වීම්, හඬාවැලපීම් ආදිය යි.
ඉහත “සෝක, පරිදේව“ යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ මුල් අවස්ථාවේ දී චිත්තයේ ඇති වන ස්වභාවය යි.
මේ හැඬීම්, වැලපීම්, ශෝක වීම් තවදුරටත් දිගින් දිගට ම පැවතුණ හොත් එය ඝට්ටන අවධිය “Stage of Resistance” නමැති දෙවැනි අදියර දක්වා වර්ධනය වී “දුක් දොම්නස්” ඇති තත්ත්වයට පත් වේ. මෙහි දී මේ සිදුවීම් පිළිගැනීමට ඇති අකැමැත්ත නිසා තව තවත් මිය ගිය අතීතයක මතක සටහන් හාරා අවුස්සමින් මනසින් සාදාගත් මනෝ ලෝකයක තනි වී සිහින මවමින් තාත්වික ස්වභාවය (Reality) සමග නිරන්තරයෙන් ගැටෙමින් නොකා නොබී රස්සාවලට නොයා, සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නොයෙදී සියලු දේ එපා වූ ස්වභාවයෙන් දිගින් දිගට ම ශෝක වෙමින් “දෝමනස්සයෙන්” කල්ගත කරන නිසා මුළු ශරීරය ම එන්න එන්න ම අහිතකර හෝමෝනවල බලපෑමට දිගු කාලීන ව ලක් වෙමින් ඇඟපත වේදනා කැක්කුම් ඇති ව ශරීරය ද මනස මෙන් රෝගී වීමට පටන් ගනී. “දුක්ඛ” යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ ශාරීරික දුක වන අතර “දෝමනස්ස” යනුවෙන් හඳුන්වන්නේ මානසික පීඩනය යි. මේ තත්ත්වය වෛද්‍ය විශේෂඥයෝ “Clinical Depression” නමින් හඳුන්වති.
මේ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් දුබල වීමේ අවධිය “Stage of Exhaustion” යන තත්ත්වය දක්වා වර්ධනය වේ. මෙහි දී මානසිකවත්, ශාරීරිකවත් මොහු දුබල වී ජීවිතය පවා රැකගැනීමට ඇති ශක්තිය හීන වී යා හැකි ය. මෙම අවස්ථාවේ දී සියදිවි නසාගැනීමට පවා පෙලඹිය හැකි අතර, එසේ නැත හොත් මරණය පවා ළඟා විය හැකි ය. “උපායාස” යනු මේ අවධියයි.

2014 July නමස්කාර සගරාව ඇසුරිනි.

No comments:

Post a Comment