ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය
මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බවයි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි.
අද අපේ රටේ තිබෙන මේ සමාජ ක්‍රමය සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ පරිභෝජනවාදී සමාජ ක්‍රමයක් විදිහටයි. සමහරු මෙයට පශ්චාත් නූතන සමාජ කියලත් කියනවා. මේ සමාජ ක්‍රමයේ ප්‍රධානම කාර්යය වන්නේ පරිභෝජනයයි. කෑම බීම, යාන වාහන වගේ දේවල් පමණක් නොවෙයි. මේ තත්ත්වය තුළ කාන්තාවනුත් වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත්වෙලයි තිබෙන්නේ. කාන්තාව මේ සමාජය තුල භාණ්‌ඩයක් ලෙස ඉස්‌මතු කිරීම අපේ රටේ පමණක් නෙවෙයි. මුළු ලෝකයේම අද මතුවී ඇති ප්‍රවණතාවක්. මේ නිසා අද කාන්තාව දෙස වැඩි දෙනෙක් බලන්නෙ තම ලිංගික ආසාවන් සන්තර්පනය කර ගැනීමට ඇති භාණ්‌ඩයක් විදිහටයි.
මේ අරුතින් සමාජ සබඳතා ගොඩනඟාගැනීමට උපකාරි වන ක්‍රම අද සමාජය තුළ ඕනතරම් තිබෙනවා. ඉන්ටර්නෙට්, ෆේස්‌බුක්, මොබයිල් ෆෝන් වැනි මාර්ග ඔස්‌සේ අද මේ සබඳතා ගොඩනැගෙනවා. අනියම් ලිංගික සබඳතා අද විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. බිඳවැටෙන අනියම් ලිංගික සබඳතා අද තිබෙන සමාජ ප්‍රචණ්‌ඩත්වයට ප්‍රධාන හේතුවක්. අද සිදුවන බොහෝ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ ඝාතන පිටුපස ඇති සමාජ විද්‍යාත්මක හේතු සොයා බැලීමේදී ලිංගික කටයුතු සමග බැඳුණු ක්‍රියාදාමයක් තිබෙනවා.
මෙය ලිංගිකත්වය වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත් වීමේ ප්‍රතිඵලයක්. අපේ සමාජය තුළ අද ලිංගිකත්වයට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. ලිංගික සේවා සපයන ආයතන තිබෙනවා. සමාජය තුළ ලිංගිකත්වය උද්දීපනය කරන ක්‍රමවේද ඇතැම් මාධ්‍ය හරහාත් දියත් වෙමින් තිබෙනවා. මේ නිසා අද කාන්තාවන්ට හිමිවිය යුතු ගරුත්වය වේගයෙන් බිඳවැටෙමින් තිබෙනවා.
ලිංගිකත්වය සමාජය තුළ වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත්වීම අර්බුද ගණනාවකට හේතුවක්. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. විවාහයෙන් පසු අනියම් සබඳතාවල වැඩි වර්ධනයක් ඇති වී තිබෙනවා. අඩු වයසින් කරන විවාහ වැඩිවෙලා තිබෙනව. මෙයට අමතරව සමාජය තුළ මව හෝ පියා පමණක් සිටින පවුල් සංඛ්‍යාවත් වැඩිවෙලා තිබෙනවා. අද සමාජය තුළ ලිංගිකත්වය හානිදායක ලෙස ඉස්‌මතුවීමට මේ සියලු දේ බලපා තිබෙනවා. මෙය සමාජ හර පද්ධතිය බරපතළ සෝදාපාළුවකට ලක්‌වීමට හේතුවක්. පියා, දියණිය දූෂණය කිරීම, සීයා මිණිබිරිය දූෂණය කිරීම, බෑණා නැන්දම්මා ඝාතනය කිරීම, සමූහ ස්‌ත්‍රී දූෂණ ආදිය තුළින් පෙනෙන්නේ වර්තමාන සමාජය රෝගී ස්‌වභාවයට පත් වෙමින් තිබෙන බවයි.
විවෘතව ලිංගිකත්වය පිළිබඳ කතා නොකිරීම ලිංගික
අපචාරවලට තවත් හේතුවක්

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව අප පසුගිය සතියේ සාකච්ඡා කළා. ඔබට මතක ඇති. මෑතකාලයේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය බවට අපට කරුණු ඉදිරිපත් කරන්නට සිදුවූයේ වර්තමානයේ දරු පරපුර බොහෝ ලිංගික අතවරයන්ට ගොදුරුවන නිසාවෙනි.එහෙත් මීට බොහෝ කළකට පෙර මෙවැනි දැනුවත් කිරීමක් දරුවන්ට අවශ්‍ය නොවුණි. ඒ ලිංගිකත්වය රහසක් ලෙස නොතිබුණු නිසාය.
එදා සමාජයේ ලිංගික කරුණු රහසක්ව නොතිබුණු නිසාම දරුවන්ද නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබීය.
එදා සමාජයේ සිටියවුන් ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ලිංගික කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ ආකාරය පිළිබඳව ප්‍රජා සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.
විවාහය කියන්නේ සමාජ මෙන්ම සංස්කෘතිකමය අවශ්‍යතාවක් ලෙස එදා සමාජය සැලකුවා. එදා සමාජය විවාහය දැක්කේ ඉතා ලිහිල් දෙයක් හැටියටයි. කෙනෙකු ලිංගික වශයෙන් ක්‍රියාශීලි අවධියේ සිටම විවාහයට දරුවන්ව මවුපියන් විසින් පෙළඹවීමක් කළා. එහිදී විවාහය සහ ඉන් පසු ජීවිතය ගැන මවුපියන් දරුවන් විවෘතව කතා කළා.
මධුසමය මෙන්ම එහිදී ඇතිවිය හැකි ගැටලු ගැනත් මවුපියන් සමඟ දරුවන් විවෘතව කතා කළා. එමෙන්ම මධුසමයේදී යම් ගැටලුවක් හට ගත්තා නම් එම අවස්ථාවේදීම ඥාතීන්ට පැවසීමටද මැලි වුණේ නැහැ. තම නිවසේ මධුසමය ගත කිරීම නිසාම එය සැඟවුණු රහසිගත දෙයක් වුණේ නැහැ.
විවාහයෙන් පසු දරුවන් හැදීම සමස්ත පවුලේම වගකීම වුණා. එය ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට පමණක් පැවරුණු වගකීමක් වුණේ නැහැ. දරුවන් හදා වඩාගෙන ලිංගික ජීවිතය සාර්ථකව ගත කිරීමට නොහැකි නම්, එවැනි විවාහයන්ගෙන් මිදී වෙන්වීමට එදා සමාජය මැලිකමක් දැක්වූයේ නැහැ. එමෙන්ම එලෙස වෙන්වන දරුවන්ට වෙනත් කෙනෙකු සොයාදීමද මවුපියන් විසින්ම සිදු කළා. එවැනි කටයුතු රහසිගත හෝ පුදුම සහගත දේවල් ලෙස ඔවුන් දැක්කේ නැහැ.
මේ සියල්ල පවුලේ හැමදෙනා විවෘතව කතාබහ කිරීම නිසා පවුලේ අය අතර හොඳ සබඳතාවක් ගොඩ නැගුණා. මේ නිසා ඥාතීන් කවුද යන්නත් ඔවුන් සමඟ පවත්වාගත යුතු සම්බන්ධය කවරාකාරද යන්නත් හොඳින් එදා සමාජයේ අය තේරුම් ගත්තා.
පැරණි සමාජයේ විවාහවීමට වයසක් ගැන සැලකීමක් දැක්වුයේ නැහැ. උදාවන යෞවනය ගැන එදා දරුවාව මවුපියන් හොඳින් දැනු- - වත්කර තිබුණා. නමුත් අද සමාජයේ විවාහ වන වයස වැඩි වී තිබෙනවා. එහෙත් ලිංගික හැඟීම් යටපත් වන්නේ නැහැ. ලිංගික හෝමෝන පාලනය කළ නොහැකියි. මේ නිසා අද සමාජය බොහෝ සෙයින් අතර මං වෙලා. මේ නිසා ලිංගික කුහකත්වය ඇති වෙනවා.
ලිංගික කටයුතු පැරණි සමාජයේ කෙතරම් විවෘතව සිදු වුණාද යන්නට හොඳම උදාහරණය වන්නේ එකගෙයි කෑම වැනි තත්ත්වයි. එහිදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට එක අඹුවක් සරණපාවා ගැනීම සිදු කෙරුණා.

එක් සහෝදරයෙකු ලිංගිකව එක් වී සිටින බව හැඟවීමට ඔවුන් කළේ තම අමුඩ ලේන්සුව නිවසට ඇතුල්වන තැනම ඇති යටලීයේ එල්ලා තැබීමයි. එවිට නිවස ඇතුලේ සිදුවන දෙය අනෙක් කෙනා දැනගෙන සිටියා.
අයියා සහ මල්ලී එක් අඹුවක් තබාගෙන සිටීම නිසා ගෙදර සමඟිය බිදී ගියේ නැහැ. දෙදෙනාටම එක් කාන්තාවක් අයිතිවීම හරහා ලිංගික ගැටලු පැන නැඟුනේත් නැහැ. නමුත් අනුමත නැති කාන්තාවක් සමඟ සබඳතා පැවැත්වීම එදා සමාජය පිළිගනු ලැබුවේ නැහැ.
ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් එදා සමාජයේ අඹු සැමියනට ලිංගිකව එක්වීමට විශේෂිත වේලාවක් තිබුණේ නැහැ. රාත්‍රී කාලයේ පැල් රකින්න්ට යන ගොවියාට රාත්‍රියේදී ලිංගිකව එක්වීමට අවස්ථාව උදා වුණේ නැහැ.
දහවල් කාලයේ ලිංගිකව එක්වන විට නිවසේ දොරගාව කුල්ලක් තැබීම මඟින් යම් සංඥාවක් ලබා දුන්නා. මෙය කුළු පේ කිරීම ලෙස එදා සමාජය හැඳින්වූවා. මෙවැනි තත්ත්වයකදී එම නිවසට පැමිණෙන හැමදෙනාම එම මොහොතේ සිදුවන දේ ගැන වැටහීමක් ලබාගත්තා.
එය එකළ සමාජයේ ජීවත් වුවනට අලුත් දෙයක් වුණේ නැහැ.
විවාහයෙන් පසු මනාලිය නිවසට කැන්දාගෙන ඒමත් මධුසමය නිවෙසේදීම සිදු කිරීමත් එදා සමාජයේ දක්නට ලැබුණු දෙයක්, තම ඥති වර්ගයා මෙන්ම ගමේ සියලුදෙනා මනාල මහතාගේ නිවසේ සිටියදීම නව යුවල නිවසේ එක් කාමරයක ලිංගිකව එකතු වීම එදා සමාජයේ අයට කුතුහලය ගෙනදෙන දෙයක් වුණේ නැහැ.
දැරියක මල්වර වීමේ ලකුණු පහළ කළ දින පටන්ම එම දැරිය ගැන විවෘතව කතාබහ කළා. මල්වර වූ පසු ලොකු උත්සවයක් ගෙන ගමේ හැමෝටම ඒ බව පැවසීම එදා සමාජයේ දක්නට ලැබුණා. මේ නිසා එවැනි තත්ත්ව එතරම් සැඟවුණු, දේවල් බවට පත්වුණේ නැහැ. විද්‍යානුකූලව විග්‍රහ කිරීමට එකළ ගැමියාට නොහැකි වුවත් මල්වර වීමෙන් පසු දරුවා ගැබ්බර වීමට හැකියාව ඇති බව ඔවුන් දැන සිටියා.
මේ නිසා දරුවාට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරුණා. පිරිමි දරුවාගේ දැලි රැවුල් වැවීම, කර දඬු මහත් වීම, උගුරු ඇටය කැඩීයාම වැනි කරුණු ගැන එදා සමාජයේ අය ප්‍රසිද්ධියේ කතාබහ කළා. “දැන් මෙයා හොඳ ඉලන්දාරියා” මවුපියන් තම දරුවන් ගැන එවැනි වදන්වලින් ප්‍රසිද්ධියේ කථාකළේ දරුවාගේ වැඩීමත් සමඟයි.
ලිංගික කුතුහලය ඇතිවන දේවල් එදා සමාජයේ සිදු නොවීම විශේෂ තත්ත්වයක්, ඇඟ පසඟ විවෘතව තබා ගැනීම පවා පැරණි සමාජයේ දකින්නට ලැබුණා. සමහර කුලවල අයට උඩුකය ආවරණය පවා තහනම් කිරීම මේ සඳහා කදිම උදාහරණයක් වෙනවා. දරුවෙකු මෙලොවට බිහිවීම පවා සිදුවුණේ නිවස තුළමයි. මේ නිසා දරුවා ලැබෙන ආකාරය ඉතා පැහැදිලිව එදා සමාජයේ අය දැන සිටියා.
ඉපදීම, මල්වර වීම, මධුසමය, ලිංගික එක්වීම, මෙන්ම ජීවිතයේ බොහෝ කටයුතු රහිසිගත දේවල් නොවුණු නිසා එදා සමාජය අදට වඩා ප්‍රසිද්ධියේ සහ විවෘතව ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කළ බව ඉතාම පැහැදිලි කරුණක් වෙනවා.
No comments:
Post a Comment